කොරෝන වෛරස් වසංගතය මධ්‍යයේ මූල්‍ය අරගලයන්ට මුහුණ දෙන ශ්‍රේණිගත කිරිම්හි පහළ සිටින ක්‍රීඩකයින්ට උපකාර කළ හැකි ක්‍රම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන නොවාක් ජොකොවික් සහ ටෙනිස් වෘත්තිකයන්ගේ සංගමයේ ක්‍රීඩක මණ්ඩලයේ සාමාජිකයන් වන රොජර් ෆෙඩරර් සහ රෆායෙල් නඩාල් සමඟ සම්බන්ධ වී සිටී.
ස්ටැන් වව්රින්කා සමඟ ඉන්ස්ටග්‍රෑම් සජීවී කතාබහකදී රසිකයෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ක්‍රීඩක මණ්ඩලයේ ප්‍රධානී ජෝකොවිච් කියා සිටියේ ඕනෑම සහන සැලසුමකින් ප්‍රතිලාභ ලැබිය යුත්තේ වඩාත් සුදුසුකම් ඇති ක්‍රීඩකයින්ට පමණක් බව සහතික කිරීමට පියවර ගන්නා බවයි.
“මම මීට දින කිහිපයකට පෙර රොජර් සහ රෆායෙල් සමඟ කතා කළා. අපි ටෙනිස් ක්‍රීඩාවේ නුදුරු අනාගතය ගැන කතා කළා. පැහැදිලිවම වඩාත්ම අසීරුතාවට පත්ව සිටින ශ්‍රේණිගත කිරිම්හි පහළ සිටින ක්‍රීඩකයින්ට උපකාර කිරීමට අපට දායක විය හැකි ආකාරය පිළිබඳව අපි කතාකළා” යැයි ජොකොවික් පැවසීය.
ලෝක ශ්‍රේණිගතකිරීම් අතරේ 250 ත් 1000 ත් අතර ශේණිගත කර ඇති ක්‍රීඩකයින්ගෙන් බහුතරයකට සම්මේලනයේ සහය හෝ අනුග්‍රාහකයන් නොමැති අතර ඔව්හු ස්වාධීනව හා තනිවම සිටිති.
කෝවිඞ් - 19 වසංගතය හේතුවෙන් 2020 ටෙනිස් වාරය මාර්තු මස මුලදී අත්හිටුවන ලද අතර, පහළ මට්ටමේ සිටින ක්‍රීඩකයින්ට සහ තරඟාවලියේ ජයග්‍රහණයන් මත පමණක් යැපෙන ක්‍රීඩකයින්ට එදිනෙදා ජීවිකාව සඳහා මුදල් උපයා ගැනීමට අවස්ථාවක් නොලැබුණි.
කේවල ශ්‍රේණිගත කිරීම්හි 100 න් පිටත සිටින ක්‍රීඩකයින්ගේ දුක්ඛිත තත්වයට ක්‍රීඩාවේ පාර්ශවකරුවන් වන ටෙනිස් වෘත්තිකයන්ගේ සංගමය, කාන්තා ටෙනිස් සංගමය, ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනය සහ ග්‍රෑන්ඞ් ස්ලෑම් හතරේ සංවිධායකයින් යම් සහයක් ලබා දීමට සැලසුම් සකස් කිරීමට පෙළඹී ඇත.
“ටෙනිස් වෘත්තිකයන්ගේ සංගමය (සහ වෙනත්) ආකෘති සහ නිර්ණායක භාවිතා කරමින් බෙදා හරිනු ලබන සහන අරමුදලට ක්‍රීඩකයින් සාමූහිකව දායක වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා,” යැයි ජොකොවික් පැවසීය.
“ශේණිගත කිරීම් අනුව පහළ ඉන්න ක්‍රීඩකයකුට මුදල් ගෙවන්න ඔබ අකමැතියි තමයි. හැම තිස්සෙම ඒ වගේ අවස්ථාවක් මඟහරින්නයි බලන්නේ.... ඒත් මේ වෙලාවේ ඔවුන්ට අසරණ වෙන්න දෙන්න බෑ... ඒ නිසා ඩොලර් මිලියන 3 ක් - 4.5 ක් විතර ප්‍රමාණයක් ඒ වගේ ක්‍රීඩකයන් අතර බෙදිලා යාවි” යයි ජොකොවික් පැවසීය.
17 වතාවක් ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා දිනා සිටින ජෝකොවික් පැවසුවේ අනෙකුත් කෙටිකාලීන විසඳුම් සඳහා ටෙනිස් වෘත්තිකයන්ගේ සංගමයේ අවසන් තරගය වැනි ඉසව්වලින් ඉහළම ක්‍රීඩකයින් සඳහා වන ප්‍රසාද මුදල් සහන අරමුදලට හරවා යැවිය හැකි බවයි.
“2020 දී අපට කිසියම් තරගයක් නොමැති නම් ලබන වසරේ ඕස්ටේ්‍රලියානු විවෘත තරගාවලියේ ත්‍යාග මුදල් වලින් මෙම අරමුදලට දායක විය හැකියි” යයිද සර්බියානු ජාතිකයා තවදුරටත් පැවසීය.
“ටෙනිස් ක්‍රීඩාවේ සමස්ත ක්‍රීඩක සහ සංවිධාන පද්ධතියම එකට පැමිණීම ගැන මට සතුටුයි. සෑම කෙනෙකුම ටෙනිස් ක්‍රීඩාවේ පදනම වටහා ගනීවි. 250 වැනි ස්ථානයෙන් ඔබ්බට සිටින මේ අය ටෙනිස් ක්‍රීඩාවේ අනාගතය හදනවා”
“අපට ඔවන් අමතක නොවන බව ඔවුන්ට පෙන්විය යුතුයි”
“මූල්‍ය අර්බුදයක් ඇති විට තරුණ ක්‍රීඩකයින්ට ටෙනිස් ක්‍රීඩාවෙන් බැහැරව ජීවත් විය හැකි බවට අප පණිවිඩයක් යැවිය යුතුයි ” යයිද සානුකම්පිත හදවතක් ඇති මෙම සර්බියානු ජාතිකයා පැවසීය.